අහිවාතක (අහි+වාතක) යන වචනය තුල “අහි”යන්න සර්පවිෂ යන අර්ථයත්, “වාතක” ලෙස වාතයේ මිශ්‍ර වීම තුලින් වහනය වීම අරුත් ගන්වයි.

සර්පයන්ගේ විෂ ශරීර ගතවීම තුලින් මරණයට පත්වීමේ වසංගතය තත්වයක් ලෙස බුද්ධ කාලීන භාරතයේ රජගහ නුවර (වර්තමානයේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය) හි පැතිරුණු මෙම අහිවාතක නම් වසංගතය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

මෙහි මුලික පියවර ලෙස වසංගතය මුල්වරට වැළදීම සිදුවන්නේ නිවාස ආශ්‍රිතව වාසය කරන මැසි මදුරු ආදී වූ කුඩා සතුන්ටය. අනතුරුව ඔවුන් මගින් ක්‍රමයෙන් බළල්, සුනඛ, ගව ආදී තරමක් විශාල සතුන්ට වැළදෙන අතර අවසානයේ මිනිසුන්ටද වසංගතය බෝවීම සහ අවසාන ප්‍රථිපලය නියත වශයෙන් මරණය වී තිබේ.

බෝවීමේ ක්‍රමවේදය තරමක් වෙනස් වුවද, අප අද අත්විඳින  කොරෝනා වසංගත තත්වයට බොහෝ දුරට සමාන කම් දක්වයි. එනම්, මෙයද චීනයේ වුහාන් ප්‍රාන්තයේ සත්ව මාංශ (සර්ප මාශ) අනුභවය තුලින් බෝවීම ආරම්භ වූ බවට අනුමාන කරන නිසාවෙනි.

වසංගතය පාලනය සඳහා අතීත ක්‍රමවේදය නම්, රෝග වාහකයා නිවසතුල සිටියදීම මැටි ගසා නිවාස සීල් තැබීමය. එම වාහකයාගේ ප්‍රතිශක්තීකරණය මත නීරෝගීභාවයට පත්වුහොත් පමණක් බිත්ති බිඳගෙන එළියට යා හැකිය.

මෙම ක්‍රියාවලිය, අද අප හඳුන්වන “නිරෝධායනය“ ලෙස නම් කෙරුවාට වරදක් නැතැයි සිතමි. 

බුද්ධ කාලයේ දී මෙම වසංගතයට ගොදුරුව බිත්ති කඩා ඉන් බේරුණු කුම්භඝෝෂක නම් තරුණයෙකු පිලිබඳ ව බුද්ධ භාෂිතයේ සඳහනක් ඇත. අහිවාතක වසංගතයෙන් බේරුනු කුම්භඝෝෂක තරුණයාගෙන් මේ මොහෙතේ අප උගත යුතු බොහෝ දේ ඇත.

වසංගතයෙන් බේරුණු පසු ඔහු තෝරාගත්තේ “ පබෝදනචෝදන කර්මය” නම් රැකියාවයි. එනම්, මිනිසුන් අවධි කරවීමයි. ඔහු අලුයමින් නැගිට නිදා සිටින මිනිසුන් අවධි කරවා ඔවුනොවුන් විසින් කලයුත්ත කරවීම පිණිස උනන්දු කරවයි.

වර්තාමානයේ ගෝලීය වසංගතයෙන් බේරුණු චීන රාජ්‍යය, අතීත කුම්භඝෝෂක ගේ කාර්යය ඉටුකරන කරන බව පෙනීයයි. අවාසනාවක මහත නම්, ඇතැම්  රාජ්‍යයන්ට අවධි වීමට අමතක වී තවමත් නිද්‍රා ශීලීව කටයුතු කිරීමයි.

(මූලාශ්‍ර – ධම්මපදය, අප්පමාද වග්ගය, කුම්භඝෝෂක අරඹයා දෙසූ ගාථාව. සහ ධම්මපද අට්ඨකථා)

Author – Ven. Homagama Rewatha Thero

Office Hours

8.00 am – 6.00 pm
Monday through Sunday

Contact Us

Ehipassiko International Meditation Center, Koonpola, Doratiyawa, Kurunegala
Tel: +94740101014

 @ehipassiko. All Rights Reserved.