සම්බුද්ධ සාසනයේ පරතෙර වශයෙන් ඉදිරිපත්වන ශ්‍රේෂ්ඨ ස්ථානය නිර්වාණය වශයෙන් අර්ථ දැක්වේ. එම පරතෙර ස්ථානයට පිවිසි යෝගියා හැදින්වීමට රහතන් වහන්සේ, විමුක්තිකාමින් වහන්සේ, විමලයාණන් වහන්සේ ආදී වදන් භාවිතාවේ. රහතන් වහන්සේගේ ස්වභාවය පිළිබඳවත් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ස්වභාවය පිළිබඳවත් නොයෙක් මතවාද, අදහස් සහ කෘති රාශියක් ප්‍රකාශයට පත්වී තිබේ. නමුත් පරතෙර ස්ථානයට පිවිසීමට පෙර අනුපුර්වයෙන් සාක්ෂාත් කළයුතු ප්‍රධාන ස්ථාන තුනකි. එනම් සෝතාපන්න ස්ථානය, සකදාගාමී ස්ථානය අනාගාමි ස්ථානය වශයෙනි. නමුත් මේ ස්වභාවයන් පිළිබඳව විමර්ශණ ඉතා අල්ප අතරම මෙම ස්ථාන තුලට ගමන් නොකර පරතෙරකට පැමිණිය නොහැකි බැවින් නිර්වාණ දර්ශණය පිළිබඳව කතාකිරීමේදී එහි ආරම්භක ස්ථානය පිළිබඳව සොයා බැලීම ඉතාම අත්‍යාවශ්‍ය කාරණාවකි. හුදෙක් නිර්වාණය හා එහි ස්වභාව පිළිබඳව අදහස් දක්වමින් කුතුහලයෙන් කල්මැරිමට වඩා නිවනට යොමුවීමේ පළමු පියවර තැබීමට ප්‍රායෝගික වීම අතිශය ප්‍රයෝජ්‍යය.

 “නාහං, භික්ඛවෙ, ආදිකෙනෙව අඤ්ඤාරාධනං වදාමි; අපි ච, භික්ඛවෙ, අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති.” මහණෙනි, මම එක්වරටම රහත්වීම නොකියමි. එසේ වුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීය හැකිය. මජ්ඣිමනිකායේ කීටාගිරි සුත්‍රයේ දී බුදු රජාණන් වහන්සේ මෙසේ දේශණා කොට වදාරනු ලබන්නේ අර්හත්වය එකවර ලැබෙන්නක් නොවන බවත් විමුක්තතාව ක්‍රමාණුකුල ශික්ෂණයක යෙදිමින් ලබාගත යුත්තක් බවත්ය. 

චක්‍රවර්ති රාජ්‍යට ද, දෙවිලොව යාමට ද, සකල ලොකාදිපත්‍යයට ද වැඩියෙන් සෝවාන් ඵලය උත්තරීතර වන බව ධම්ම පද ගාථාවක දක්වයි. 

සෝතාපන්න යන වදන මනාව තේරුම් නොගැනීම  නිසා වර්ථමානය තුළ ඒ ඒ පුද්ගලයා තම අභිමතය අනුව අර්ථ විවරණ කිරීමට ප්‍රයත්නයන් දැරීමට යාම තුල ධර්මයේ විකුර්ති ස්වභායක් ඇතිකොට තමා හා තම අනුගාමිකයන් යම් කොට්ඨාශයකට ගොනුකොට තමා හා තම පිරිස නිවැරදි බව පවසමින් අනෙක් විවරණය ප්‍රතික්ෂේප කරමින් හැසිරෙන බැවින් මෙහි අර්ථ විවරණය අත්‍යවශ්‍යය.

“අයමෙව හි, සාරිපුත්ත, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො, සෙය්‍යථිදං – සම්මාදිට්ඨි……… සම්මාසමාධි’’. සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය වශයෙන් දක්වන අතරම,

සාරිපුත්ත, ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො අයං වුච්චති සොතාපන්නො, ස්වායං ආයස්මා එවංනාමො එවංගොත්තො’’ති. සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේයයි වදාළහ.

සෝත හා සෝතාපන්න යන වදන් දෙක පිළිබඳව සැරියුත් හිමියන්ට අර්ථදක්වන අයුරු සංයුක්ත නිකායේ දුතිය සාරිපුත්ත සුත්‍රයේ මනාව පැහැදිලිකොට ඇත.

ඉහත පාඨයන් අනුව “සෝත” ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් සෝතාපන්න යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළට පිවිසීම යන අරුත ගම්‍ය කරනු ලබයි. මෙසේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පළමු පියවර තැබූ පුද්ගලයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාය.

සහාවස්ස දස්සන සම්පදාය – තයස්සු ධම්මා ජහිතා භවන්ති 

සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච – සිලබ්බතන්වාපි යදත්ථි කිඤ්චි 

චතුහපායේහිච විප්පමුත්තෝ – ඡචාභිඨනානි අභබ්බෝ කාතුං 

මෙහි සදහන් වන ආකාරයට සෝතාපන්න ආර්යයා සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කොට  ඇත. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්චා හා සීලබ්බතපරාමාස යන කරුණු තුනයි. එමෙන්ම සතර අපායෙන් සම්පුර්ණයෙන් මිදුණු බවත් මෙම ආර්ය පුද්ගලයා හට තව ගතකිරීමට ඇත්තේ භව හතකට පමණක් සිමා වූ ජිවිතයක් බවත් එම අවසාන ජීවිතය තුළදී නිර්වාණය සාක්ෂාත් කොට පිරිණිවෙන බවත් දැක්වේ.  

ප්‍රායෝගිකවම මෙලොවදීම සැනසිය හැකි උත්තරීතර හැකියාවක් ඇති මිනිසා ආර්ය මාර්ගයට පිවිසීමට බියක් සැකයක් මෙන්ම උදාසීන බවක් ඇතිකරගෙන වාසය කරනු ලබන්නේ ධර්මය පිළිබඳව නිවැරදිව නොදන්නා කම මෙන්ම වර්තමානයේ තමා විඳින සැප සම්පත් අත්හැර දැමීමට සිදුවේදෝ යැයි  අනිසි බියකින් පසුවිමෙනි. නමුත් නිර්වාන මාර්ගයට පවුලේ ක්‍රියාකාරකම්, ආර්ථික, දේශපාලනමය ක්‍රියාකාරකම් සම්පුර්ණ නවතා දැමීමක් අපේක්ෂා නොකරන අතර ලෞකික දියුණුව ලබමින් තමාගේ අධ්‍යාත්මික සංවර්ධණය උදෙසා යම් හෝ කැපකිරීමක් සිදුකිරීමට හැකිනම් ඔහුට මේ ලබාගත් ජීවිතයේදීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීමට හැකිවන්නේය. 

මේ සඳහා ආරම්භය ඉතාම කටුක අන්දමින් පෙනුනත්, දහම් මාර්ගයට ක්‍රමක් ක්‍රමයෙන් අවතීර්ණ වනවිට ඒ මාර්ගය තුළින් උපදින සන්තෘප්තිය හේතුවෙන් ස්වයං විර්යක් නිතැතින්ම ජනිතවේ. එබැවින් කොපමණ බාධක හමුවේ හෝ මේ දුර්ලභ අවස්ථාව උරගා බලිමට නොපසුබට වියයුතේය. මේ සඳහා කුමක් කළයුතුද, එය කොතැනින් ආරම්භ කල යුතුද, කෙසේ වැඩිය යුතුද යන කරුණු කෙරෙහි ඇතිවන කුකුස ඉතා අගය කලයුතුය. මන්ද යත් මෙතැන් සිට යෝගියා නිවැරදි ධර්මය සෙවීමට හා කල්‍යාන මිත්‍ර සේවනයට යොමුවීම හෙවත් සොතාපත්ති අංග වර්ධනය වේ. මේ පිලිබඳ සොතාපත්ති අංග සුත්‍රයේ මෙසේ දක්වා ඇත.

“සප්පුරිසසංසෙවො සොතාපත්තියඞ්ගං, සද්ධම්මස්සවනං සොතාපත්තියඞ්ගං, යොනිසොමනසිකාරො සොතාපත්තියඞ්ගං, ධම්මානුධම්මප්පටිපත්ති සොතාපත්තියඞ්ගං” 

සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්මශ්‍රවණය සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි. මෙහි සත්පුරුෂයා යනු සම්බුද්ධ ධර්මයේ යමෙකු මනා කොට ශික්ෂණය ලැබුවේද එසේම සමාධි බවින් හා යථාවබෝධයෙන් පිරිපුන්වුවේ ද තමා ලබාගන්නා ලද ආර්ය ඵලයන් තුළින් සැනසි අන්‍යන් හටද ඒ ආර්ය ඵලයන් නෙලාගැනීමට මග සකස්කිරීමට කැපවූ යමෙක්ද ඔහු කල්‍යාණමිත්‍රයාය. දුෂ්කර මාර්ගයක යන කළ වෙහෙසට පත්වී සා පිපාසාදී දුක්ඛයෙන් පිඩිත පුද්ගලයෙකු අඹ රුකක් දැක එහි ඵල නෙලා යම්සේ සුවයක් සැපයක් අත්විදීද එයින් තමන් පමණක් නොව අන්‍යන්ද සා පවස නිවාගනිත්වා යන අදහසින් මේ මඟ නොදත් අයට මඟ හෙළිපෙහෙළි කරන්නා මෙන් සත්පුරුෂයා තමා ලත් අර්යඵලය අන්‍යන්ට ලබාහත හැකි මඟ නිරාවරණය කරන්නේය.

ස්වභාව ධර්මයේ ස්වභාවය කුමක්ද යැයි තමා තුල යම් කුකුසක් උපන්විට එයට ලැබෙන පිලිතුරට මදක් අවධාණය යොමුකරන්න, කාලය නමැති ස්වභාවය පිළිබඳවත් ජීවය නමැති ස්වභාව පිළිබඳවත් නොයෙක් ස්වාභා  සංසිද්දීන් පිළිබඳවත් කෙසේ දැකිය යුතුද එනම් ඒ සියල්ලක්ම ක්ෂණයක් පාසා වෙනස් වෙමින් පවතින බවත් ඒ වෙනස් වීම නොමැතිව එසේ පැවතිය නොහැකි බවත් අවබෝධවේ. මේ සියලුම දෑ පවතින්නේ වෙනස්වීම නැමති ධර්මතාව පදනම් කොට නොවන්නේද, කාලය, උදේ, දහවල්, සවස්, රත්‍රි වශයෙන් වෙනස් වන්නේය. පුංචි බීජයක් ප්‍රරෝහනය වී පැලයක් හට ගැනීමත් ඒ පැලය කුඩා ගසක් බවට පත්වීමත් ඒ ගස මහා වෘක්ෂයක් බවට වෙනස් වෙමින් ක්‍රමයෙන් දිරායාම නමැති ක්‍රියාවලිය මෙන්ම ඉපදෙන පුංචි බිලිඳා ගේ ජීවන චක්‍රයත් සුළඟ හැමීම, වර්ෂාපතනය, මෙන්ම පුද්ගලයාගේ සිතුවිලි වල වෙනස් වීම එනම් අවදි වෙන වෙලාවේ දිනය සැලසුම් කළද දහවල් වෙනවිට සැලසුම් නැවත නැවත වෙනස්කරමින් අදහස් අලුත් වෙමින් සමහර විට නොසිතු විදිහට සිතුවිලි ප්‍රවාහය වෙනස් වනහැටි දැකගත හැකිවේ. මේ ආකාරයට කිසිදු දෙයක ස්ථාවර බවක් නොදැකිය හැකි බවත් පැවැත්ම සඳහා වෙනස්විය යුතුම බවත් මනාව ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගැනීම  ධර්මතාව තුළින් පිළිඹිඹු කළ යුතුවන්නේය . ධර්මතාව මනාව වටහා ගත් උතුමන් වහන්සේ වන්නේ සම්මා සම්බුදු රාජෝත්තමයාණන් වහන්සේ බැවින් උන්වහන්සේ ශ්‍රී මුඛ පත්මය විවරකොට දේශණා කළ ධර්මය හෙවත් නිවන් මාර්ගය මෙය යැයි වටහා ගැනීමට නම් වීර්යයෙන් යුත් ශ්‍රාවකයා ධර්මශ්‍රවණය කිරීම වනාහි අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් වේ. 

      සමහර දේ දැකිය හැකිය තවත් සමහර දේ දැකිය නොහැකිය. මේ පුද්ගල ජිවිතයේ අවස්ථා දෙකකි. ඇසෙන් දැකිය හැකි දේ මෙන්ම නොදැකිය හැකි දෑ පවතින බව අපි දනිමු. නමුත් පෙනෙන දෑ පමනක් පවතී නොපෙනෙන දේ නොපවතී යන කරුණු මත හුදෙක් තර්ක විතර්ක ගෙනහැර දක්වති. නමුත් තර්කය මත පදනම් නොවී කරුණු විමර්ෂණයකින් යතාර්ථය පහදා ගන්නේ නම් එය සැබෑ විද්‍යාවකි. 

පැවතීම හා නොපැවතීම යන කරුණු දැකීම මත පමණක් පදනම් නොවන අතර පෙනීම යනු සංජානනීය අවස්ථාවන් සයකින් එක් අවස්ථාවක් පමණි. එසේම අවස්ථා සයකින් යුතු සංජානනීය ක්‍රියාවලිය පැවතීම යන අදහස ඉදිරිපත් වුවද එය මනාකොට විමසිය යුත්තකි.

බුද්ධ දර්ශණය තුළ විමර්ෂණය වන මෙම සත්‍යතාව උකහා ගැනීමට සක්‍යතාවක් ඇතිකර ගන්නා සැබෑම විමුක්තිකාමියෙකි. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥාණය හා අතින්ද්‍රීය ප්‍රත්‍යක්ෂ ඥාණය ලෙස ඥානයෙහි ප්‍රභේද දෙකකි. සෑම පුද්ගලයෙකුටම මෙහි ප්‍රථම අවස්ථාව වන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාව පිළිබඳව උසස් දැනුමක් කරා ගමන් කළ හැකි බව නවීන ලෝකය දෙස බලන විට තාක්ෂණයේ අසීමිත බව තුල පුද්ගල දැනුම කොතෙක් සංවර්ධිත ද යන්න පැහැදිලිය. නමුත් එයින් ඔබ්බට ගමන් කිරීම පිළිබඳව යම් කුහුලක් ඇතිවේ. අතින්ද්‍රීය ප්‍රත්‍යක්ෂ විෂය පථය පිළිබඳව පුද්ගල මනස තුල පැන නැඟී ඇත්තේ යම් මිත්‍යාමය සේයාවකි.

උදාහරණයක් ලෙස චිත්තය පිළිබඳව කිසිඳු ධර්මතාවක් දැකිය නොහැක. ඉන්ද්‍රිය දැනීමට හසුකරගත නොහැක. එසේනම් චිත්තය නොපවතින ධර්මයක්ද? චිත්ත නිර්මාණය පිණිස හේතුවන විඤ්ඤාණ ශක්තිය පිළිබඳව පවතින්නේද මිත්‍යා අදහසකි. විඤ්ඤාණ ශක්තිය ප්‍රායෝගිකව පැහැදිලි කළ හැකි ධර්මයක් නොවේ. යම් පුද්ගලයෙකු මරණයට පත්වෙන මොහොතේ ඒ ජිවිත පැවැත්මෙන් ඉවත් වන මේ විඤ්ඤාණ ශක්තිය පරීක්ෂණයකට බඳුන් කොට දැකගත හැකිද? එසේ නොහැකි නම් විඤ්ඤාණ ශක්තිය නොපවතින ශක්තියක්ද? එසේම යම් සිතක් ඉපදීමට හේතුවන්නා වූ කර්ම ශක්තිය පිළිබඳව ද මනාව විමසිය යුතු වන්නේය. යම් චිත්ත ප්‍රවාහයක් ඉපදීමට හේතුව වශයෙන් පටිච්ච සමුප්පාදව දක්වන කරුණ වන්නේ අවිද්‍යාව හේතුවෙන් සිදුවන කර්මිය සංස්කරණයයි. එනම් කර්මය නමැති ධර්මතාවය හේතුවෙන් චිත්ත ප්‍රවාහය පැනනඟි. කර්මය ශක්තියක් වශයෙන් සැලකෙතත් එසේ කර්මය යයි ස්වභාවක් දැකිය නොහැක.

මෙසේ ඉන්ද්‍රිය විෂය පථයේ පවතින පටු සීමාව තුලට ගොණු වී දැකීමට උත්සාහ කරන යතාර්ථය දැකගත හැකි වන්නේද? තණ්හා දාසයන් බවට පත්වීමේ අරුමය මෙය නොවන්නේද? බෞද්ධ දර්ශණය තුලින් ඔප්නන් වී පවතින ප්‍රත්‍යක්ෂ අවබෝධය ආගම, සාහිත්‍ය, සංස්කෘතිය හා ආත්මාර්ථය තුළ මුසුවී කිරි කොතලේට හෙළු ගොම පිඬ මෙන් අපවිත්‍රව පවතී. බෞද්ධ දර්ශණය යන්න පිළිබඳව නිවැරදි අදහසක් දරන්නෝ ඉතාම අල්පය. බෞද්ධ දර්ශණය යන්නෙහි අර්ථය පවා විවරණය කරන්නේ ලෞකික අදහස් පෙරදැරිවය. 

පුද්ගල මනස මේ විශ්වයේ පවත්නා පුදුම සහගත බව එලවන්නා වූ එකම විශ්මය ලෙස සැලකීම අරුමයක් නොවන්නේය. නමුත් මේ මනස පෞද්ගලිකරණය හේතු කොට සිදුවන දිට්ඨිග්‍රාහී බව හේතුවෙන් ඇතිවී පවතින තත්වය වන්නේ ලෞකික ලෝකයයි. දිට්ඨිගත වීමේ සීමාවක් පැනවිය නොහැක. මන්ද දිට්ඨියේ සීමාව හා පරතෙර පිළිබඳව කෙසේ නම් අදහසකට පැමිණිය හැකිද? පුද්ගලයා යනු දිට්ඨි කතරක් ලෙස සම්බුදු පියාණන් නම් කර ඇත්තේ එහෙයිනි. ඛුද්දක නිකාය තුළ දැක්වෙන මේ පාඨය තුළ දිට්ඨින්ගේ ස්වභාවය විවරණය කෙරේ. “ කා දිට්ඨි, කති දිට්ඨිට්ඨානානි, කති දිට්ඨිපරියුට්ඨානානි, කති දිට්ඨියො, කති දිට්ඨාභිනිවෙසා, කතමො දිට්ඨිට්ඨානසමුග්ඝාතොති? දිට්ඨි යනු කුමක්ද? දෘෂ්ටි හෙතු කෙතෙක්ද? දෘෂ්ටීන්ගේ පැනනැඟීම් කෙතෙක්ද? දෘෂ්ටීහු කෙතෙක්ද? දෘෂ්ටියෙන් වරදවා ගන්නා ප්‍රභෙද කෙතෙක්ද? දෘෂ්ටි හේතූන් සිඳ දැමීම් නම් කුමක්ද? යනු මොහු ප්‍රශ්නයෝයි.

දිට්ඨි යනු කුමක්ද යන ප්‍රශ්නයෙහි වරදවා දැඩි කොට අල්වාගැනීම සත්‍යයට විරුද්ධව ගැනීම දිට්ඨි නමි. දෘෂ්ටි හෙතු කෙතෙක්ද යන ප්‍රශ්නයෙහි දෘෂ්ටි හේතු අටකි. දෘෂ්ටි පැනනැගීම් කෙතෙක්ද යන ප්‍රශ්නයෙහි දෘෂ්ටි පැන නැඟීම් අටළොසකි. දෘෂ්ටීහු කෙතෙක්ද යන ප්‍රශ්නයෙහි දෘෂ්ටීහු සොළසකි. දෘෂ්ටියෙන් වරදවා ගන්නා ප්‍රභෙද කෙතෙක්ද යන ප්‍රශ්නයෙහි දෘෂ්ටියෙන් වරදවා ගැනීම් ප්‍රභෙද තුන් සියයකි. දෘෂ්ටි හෙතූන් සහමුලින් සිඳදැමීම නම් කවරේද යන ප්‍රශ්නයෙහි සොතාපත්ති මාර්ගය දෘෂ්ටිහේතූන් සහමුලින් සිඳීම වෙයි. 

මේ ආකාරයට ධර්මය තුළින් ප්‍රත්‍යක්ෂ හා යථාර්තවාදී දර්ශණයක් ගොඩනැඟීම යනු ලෞකික හා ලෝකෝත්තර භුමීන්ගේ වෙනස මනා කොට අවබෝධ කර ගැනීමයි. ලෞකික භුමිය යනු ද්‍රව්‍යමය  ලෝකයයි. ඉන්ද්‍රියන්ට හසුවන පවතිනවා යැයි සම්මත කරගත් ලෝකයයි. නමුත් මේ සියල්ල නිමවනු ලබන්නේ චිත්තය නමැති සංස්කරණ ක්‍රියාවලිය මත බවත් එසේ නිමවෙන සංස්කරණය ක්‍ෂණයක් පාසා ඇතිවී නැතිවී යන ධර්මතාවයට හසුවන බවත් මනාව පසක් කරගැනීම ලෝකෝත්තර දර්ශණයයි එය නුවණින් මෙහෙය විය යුතුය. මේසේ නුවණීන් මෙහෙය වන විට ද්‍රව්‍ය ලෝකය වනාහි චිත්තය මත ඇතිවෙන චිත්‍රයක් බව යෝගියාට පසක් වීමෙන් දිට්ඨින්ගේ ග්‍රහණයෙන් මිදීම එතැන් පටන් ආරම්භ වේ.   

මෙහිදී පඤචුපාදානස්ඛන්ධය පිළිබඳව ගවේෂණය කොට එහි යතාර්ථය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමෙන් ලෝකෝත්තර මාර්ගයට අනුව හැසිරීම ආරම්භය කිරීමට උත්සුකරවිම මෙහි මුලික අරමුණයි.

ධම්මා යනු මේ ලෝකයේ සියළු ධර්මයන්ය. මේ ලෝකේ තියෙන සියලුම ධර්ම මේ සිත තුළ පැවතිය යුතුය. මේ සිත තුල ධර්ම පහක් පවතිනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤඤාණ වශයෙන් මේ සියල්ල එක්වගත් විට   පඤ්චස්කන්ධය හෝ පඤ්ච උපාධානස්කන්ධය ලෙස හඳුනාගත යුතුයි. මේ ධර්ම පහේ අන්තර්ගතය පිළිබඳව කෙටියෙන් හෝ විමසා බලමු.

ඵස්ස  – ආධ්‍යාත්මික රූප(සළායතන) භාහිර රූප (රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම) ස්පර්ශ වීම – රූප ස්කන්ධය 

වේදනා – රූප නැමති හේතුවෙන් හටගන්නේ දැනීමයි.  – වේදනා ස්කන්ධය 

සංඥා – කලින් නිමවුන දැනීම හඳුනා ගැනීම – සංඥා ස්කන්ධය 

සංස්කාර  – හඳුනා ගත් දේ ක්‍රියාත්මක කිරීම හෙවත් විඳීම – සංඛාර ස්කන්ධය 

විඤඤාණ ස්කන්ධය – මේ සමස්ත ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම පිණිස අවශ්‍ය බලය සැපයීම පිණිස.

මේ අන්තර්ගතය පිරික්සීමේදී දැකිය හැකිවන්නේ සිත තුල මේ ලෝකයේ පවතින සෑම ධර්මයක්ම අන්තර්ගත බවයි. සිත හට ගන්න මුල් මොහොත පිරිසිදුයි නමුත් සංස්කරණය තුල සිදුවන විඳීම හේතුවෙන් ලෝකය වින්දනය ලබන විටම තණ්හාවෙන් තෙතමනය වී උපාදානයට පත්වේ. එම තත්වයට පත්වන චිත්තය  පඤ්ච උපාදාන ස්කන්ධය ලෙස නම් කෙරේ.

මේ අවබෝධය තුලින් සිත කියන්නේ කුමක්ද කියල බැලුවොත් සිත යනු මොහොතක් පාසා මනෝමය ආකාරයෙන් ලෝකයක් නිර්මාණය වීමේ ක්‍රියාවක්, එසේම එය අංග පහක සංයෝජනයක් හෙවත් පඤ්ච උපාදාන ස්කන්ධයක්. එසේනම් සත්වයා පුද්ගලයා වශයෙන් අප හඳුනා ගනු ලබන මේ ලෞකික ලෝකය සත්‍ය වශයෙන් පවතිනවා යයි සිතීම වනාහි අවිද්‍යාවකි,  දෘෂ්ඨියකි. චිත්ත ක්‍රියාවලිය යනු හුදෙක් ඉපදෙමින් බිඳෙමින් හා අතොරක් නැතිව සිදුවන ක්‍රියා දාමයකි. යථාර්තයෙන් බලන කළ චිත්තය ක්‍රියා දාමයකි. නමුත් ලෞකිකව බලන විට ජිවිත පැවැත්මකි.   

මෙසේ යථා රූපීව චිත්තය පිළිබඳව මනා කොට නිවැරදි අවබෝධයකින් ඒ චිත්තය ගවේෂණය කරනවිට හෙවත් විදර්ශණය කරන විට ප්‍රත්‍යක්‍ෂතාව ක්‍රමයෙන් උපදී. විදර්ශනාත්මකව ලෝකය දැකීමෙන් තණ්හා, මාන, දිට්ඨි ආදියෙන් විශුද්ධ වීම තුළ අත්දකින යතාර්ථය නිසා සත්ව පුද්ගල ස්වභාවය ඉවත්වීමත්, තව දුරටත් භවගාමි වීමේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව ප්‍රත්‍යක්ෂවිම හේතුවෙන් නිර්වාණ මාර්ගය උපදිමත් සිදුවේ. එහි පළමු පියවර තැබීම මෙසේ ආරම්භ කිරීමෙන් ජීවිතය ජයගත් කෙනෙකු වශයෙන් මෙන්ම මරණයට පවා නොබියව නොසැලී සිටීමේ වීර්යයෙන් අටලෝ දහමෙන් කම්පා නොවී වාසයටත් මඟ සකස් කරන්නේය.

Author: Ven.Anuradhapura Ariyajeewa Thero

Leave a comment

Office Hours

8.30 am – 3:30 pm
Monday through Sunday

Contact Us

Ehipassiko International Meditation Center, Sumangala Mawatha, Kurunegala
Tel: +94703778505 | +94763229860

 @ehipassiko. All Rights Reserved.