“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”

අප අමා මෑණී වූ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වතුනි, 

ධර්මයෙහි හැසිරෙන්නා, ධර්මය විසින්ම ආරක්‍ෂා කරයිද?

සිංහල බෞද්ධයනට, බෞද්ධකම, බුද්ධ දර්ශනයේ වටිනාකම දැනුණු මොහොතක, බොහෝ දෙනාට රතන සුත්‍රය මතක් වූ මොහතක, සැමවිටම ධර්මයෙන් ආරක්ෂාව යදින මොහොතක, සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන උතුම් වදන සැබෑ ලෙස අවබෝධ කර දීමට දරන උත්සාහයකි.

ධර්මයේ හැසිරීම ලෙස අප තේරුම් ගත යුත්තේ, මරණ බිය දැනුනු මොහොතක සුත්‍ර සජ්ක්ධායනය කිරීම පමණද? ඒ තුලින් ආරක්‍ෂාව සැබෑ ලෙස සැලසේද? යන්න විමසිය යුතු කරුණකි.

දැන් ඔබ හොඳින් හඳුනන, රතන සුත්‍රය විවරණය තුළින්ම මෙය තේරුම් ගත හැකිය.

“බුද්ධ” යනු අවබෝධයයි. ලෝකය පිළිබඳව යථාර්ථවාදීව දැන, දැක පැහැදීම, අවබෝධයයි.

“ධම්ම” යනු අවබෝධය කරා පියමැනීමට අවැසි මාර්ගෝපදේශනයයි.

“සංඝ” යනු එලෙස අවබෝධය පිණිස අධිෂ්ථානශීලීව, ප්‍රතිපත්තිගරුකව ක්‍රියාත්මක වීමයි.

බුද්ධ, ධම්ම සහ සංඝ යනු රත්නත්‍රයක් වන්නේ එනිසයි.

බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රයක් කොට සලකා එහි සරණ යනවා යනු, ලෝකයේ යථාර්තය දැන දැක පැහැදීමේ ඒකායන අභිලාෂයෙන් යුක්තව, අවබෝධය කරා මාර්ගෝපදේශනයට අනුව ප්‍රතිපත්තිගරුකව ක්‍රියාත්මක වීමයි.

ධර්මයේ හැසිරීම යනු මෙයයි.

මේ උතුම් හැසිරීම, ආර්ය පුද්ගලභාවයයි. යම් ඒ ආර්ය පුද්ගලයා, බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රයක් බවත් එය සත්‍ය බවත් නිසැකවම දන්නෙහිය.

සැබෑ ආරක්‍ෂාව කොතැනද? එය උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵල තුල පමණකි. ඉන් මෙහා ආරක්ෂාවක් කොහිද?

ඒ උතුම් ඵලයනට පැන නැගීමට හැකි වන්නේ ආර්ය පුද්ගලභාවයකට පමණකි.

ආර්ය ඵල ස්ථිරය. නොවෙනස්ය. එය ඉන්ද්‍රඛීලයක් සේ සිව්දිගින් හමන සුළගටවත් සෙලවිය නොහැක. එලෙස ඒ තුලින් වූ ආරක්ෂාවද ස්ථිරය.

සෝවාන් ඵලය තුල අවබෝධය, ආර්ය පුද්ගලයා දුගතියෙන් ආරක්ෂා කරයි. පිළිවෙලින් සියලු ඵල අවබෝධයන්, දුක් සහිත සසරින් ආරක්ෂා කරයි.

කෙළවර, ප්‍රරෝහණ ශක්තිය සිඳීගිය බීජය නැවත හට නොගන්නා සේ, උතුම් ආර්යභාවය, නිවුනා වූ පහන් දැල්ල  සේ නිවී යා හැකිනම්, 

ඔබටද භයානක වසංගතය නොව, ඇති භයංකාර වූ දුක් සහිත වූ සසර සැඩ පහරින් ස්ථිරවම ආරක්ෂා විය හැක. 

ධර්මයෙහි හැසිරෙන්නා, ධර්මය විසින්ම ආරක්‍ෂා කරත්වා!!!

Author – Ven. Homagama Rewatha Thero

Office Hours

8.00 am – 6.00 pm
Monday through Sunday

Contact Us

Ehipassiko International Meditation Center, Koonpola, Doratiyawa, Kurunegala
Tel: +94740101014

 @ehipassiko. All Rights Reserved.